ඔබේ විකල්ප තේරුම් ගැනීම

මානසික සෞඛ්‍යය සහ චිත්තවේගීය සුවය

ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් (SGBV) පසු මානසික සෞඛ්‍යය සහ චිත්තවේගීය සුවය පෙනෙන්නේ කෙසේද යන්න ගැන සරලව, පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයෙන් තොරතුරු මෙහි ඇත.

  • කිසිදු රෝග විනිශ්චයක් නැත.
  • කිසිදු බලපෑමක් නැත.
  • කිසිදු උපකල්පනයක් නැත.

මෙම පිටුව සපයන්නේ පොදු තොරතුරු පමණයි. මෙය වෛද්‍ය උපදෙස් නොවේ. ඔබට කුමන ආකාරයේ සහය ගැළපෙනවාද යන්න මෙය තීරණය කළ නොහැක. ඔබේ තත්ත්වය තේරුම් ගන්නා සුදුසුකම් ලත් වෘත්තිකයෙකුට, ඔබට ගැළපෙන සහය මාර්ග ගැන ඔබ සමඟ එක්ව සොයා බැලීමට උදව් විය හැක.

දිගුකාලීන චිත්තවේගීය සුවය කෙබඳු විය හැකිද

චිත්තවේගීය සුවය බොහෝ විට නියමිත කාලසටහනක් අනුගමනය නොකරයි.

ලිංගික හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පසු, සමහර විට ඔබ පෙරට වඩා ශක්තිමත් බවක් දැනිය හැක. වෙනත් අවස්ථාවල දුෂ්කර හැඟීම් නැවත මතු විය හැක. මේ දෙකම සුවයේ කොටසක් විය හැක.

ප්‍රචණ්ඩත්වයෙන් පසු ඇතිවන මානසික සෞඛ්‍ය ප්‍රතිචාර කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. කාලයත් සමඟ ආතතිය හෝ දුෂ්කර හැඟීම් ද වෙනස් විය හැක.

වැදගත් පුද්ගලයන් සහ ක්‍රියාකාරකම් සමඟ නැවත සම්බන්ධ වීම, ඔබේ ශරීරය සහ මනස රැකබලා ගැනීමේ ක්‍රම සොයා ගැනීම මීට ඇතුළත් විය හැක.

සමහරු උපදේශනය හෝ වෙනත් මානසික සෞඛ්‍ය සේවා හරහා සහය ලබති. තවත් අය විශ්වාසවන්ත පුද්ගලයන්, ප්‍රජා ජාල හෝ ආධ්‍යාත්මික සහය වෙත යොමු වෙති. බොහෝ දෙනෙක් කාලයත් සමඟ තමන්ට අවශ්‍ය සහය වර්ගය වෙනස් කර, විවිධ සහය මාර්ග එකට භාවිතා කරති.

සුවය ලැබීමට එක් නිශ්චිත ක්‍රමයක් නොමැත.

වෘත්තිකයෙකුගේ සහය ගැන සිතිය හැක්කේ කවදාද

සහය ලබා ගැනීමට පෙර ඔබ යම් නිශ්චිත තත්ත්වයකට පැමිණිය යුතු නැත. සහය ලබා ගැනීමට ඔබ “සාමාන්‍ය මට්ටමේ දුෂ්කරතාවක” සිටිය යුතු බවට නීතියක් නැත.

ඔබ පහත තත්ත්වයන්ගෙන් එකක සිටී නම්, මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීම ගැන සිතිය හැක:

  • තනිවම මුහුණ දීමට ඉතා අපහසු, දිගු කාලයක් පැවති, හෝ මනසට බරක් ලෙස දැනෙන හැඟීම් ඔබ අත්විඳිනවා.
  • නින්ද, ආහාර ගැනීම හෝ අවධානය යොමු කිරීමේ වෙනස්කම් ඔබට කනස්සල්ලට කරුණක් වී තිබේ.
  • ඔබ වෙනුවෙන්ම වෙන් වූ, පෞද්ගලික සහ රහස්‍යභාවය ආරක්ෂා වන තැනක කතා කිරීමට ඔබ සොයනවා.
  • හිරවී සිටිනවා වගේ, හැඟීම් මැලවී ගියා වගේ, කනස්සල්ලෙන්, නැත්නම් නිතරම අවදියෙන් සිටිය යුතු වගේ දැනෙනවා.
  • දෛනික කටයුතු හෝ සබඳතා කළමනාකරණය කිරීම පෙරට වඩා අමාරුයි.
  • ඔබේ සුපුරුදු කවයෙන් පිටත කෙනෙකු සමඟ කතා කිරීමට ඔබට අවශ්‍යයි.

මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වර්ග

විවිධ වෘත්තිකයන්ට සුවය ලැබීමේ විවිධ පැති සඳහා සහය දිය හැක. ඔවුන්ගේ කාර්යභාරය, ඔවුන් සේවය කරන ස්ථානය සහ එම සේවාව සංවිධානය වී ඇති ආකාරය අනුව ඔවුන් ලබා දෙන සේවා වෙනස් විය හැක.

උපදේශකයන්

උපදේශකයන්ට හැඟීම්, අත්දැකීම්, සබඳතා, ජීවිතයේ දුෂ්කර අවස්ථා සහ ඒවාට සම්බන්ධ ප්‍රතිචාර ගැන කතා කිරීමට ආරක්ෂිත ඉඩක් ලබා දිය හැක. ලබා දෙන උපදේශනයේ ස්වභාවය, උපදේශකයාගේ පුහුණුව සහ ඔවුන් ක්‍රියාත්මක වන වෘත්තීය රාමුව මත එය රඳා පවතී.

මනෝවිද්‍යාඥයන්

මනෝවිද්‍යාඥයන් මනෝවිද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ වෘත්තිකයන්ය. ඔවුන්ට ඇගයීම් සිදු කිරීමට සහ මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් පිළිබඳ විශේෂඥ සහය ලබා දීමට හැක. විවිධ මනෝවිද්‍යාඥයන් විවිධ පුහුණු ක්ෂේත්‍රවල සහ විවිධ සහය ප්‍රවේශයන් සමඟ ක්‍රියා කළ හැක.

මනෝචිකිත්සකයන්

මනෝචිකිත්සකයන් මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ය.

ඔවුන්ට මානසික සෞඛ්‍ය තත්ත්වයන් ඇගයීමට, ප්‍රතිකාර ලබා දීමට සහ අවශ්‍ය විට ප්‍රතිකාරයේ කොටසක් ලෙස ඖෂධ ගැන ඔබ සමඟ කතා කිරීමට හැක.

සමාජ සේවකයන්

සමාජ සේවකයන්ට සුවය ලැබීමේ ප්‍රායෝගික සහ සමාජීය පැති සඳහා සහය විය හැක.

ඔවුන්ගේ කාර්යභාරය සහ ඔවුන් සේවය කරන ස්ථානය අනුව, සමාජ සේවා, සමාජ සහය, නිවාස හෝ ඔබට අවශ්‍ය වෙනත් සම්පත් සමඟ ඔබව සම්බන්ධ කිරීමට ඔවුන්ට උදව් විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද මනෝචිකිත්සකයන්, මනෝවිද්‍යාඥයන් සහ සමාජ සේවකයන් මානසික සෞඛ්‍ය සේවාවේ යෙදෙන වෘත්තීය කණ්ඩායම් අතරට ඇතුළත් කරයි. එසේ වුවත්, ඔවුන්ගේ කාර්යභාරයන් සහ වෘත්තීය අවශ්‍යතා රට සහ සන්දර්භය අනුව වෙනස් විය හැක.

උපදේශනයේදී කුමක් සිදු විය හැකිද

උපදේශනය සාමාන්‍යයෙන් පුහුණුව ලැබූ වෘත්තිකයෙකු සමඟ පවත්වන සාකච්ඡා මාලාවකි.

සේවා සපයන්නා අනුව, මේ හමුවීම් මුහුණට මුහුණ, දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහා සිදු විය හැක.

ඔබ කොපමණ බෙදා ගන්නවාද යන්න තීරණය කරන්නේ ඔබයි.

පළමු හමුවීමේදී එකිනෙකා හඳුනා ගැනීම, ඔබ උපදේශනයට පැමිණියේ ඇයිද යන්න ගැන කතා කිරීම, ඔබට අවශ්‍ය සහය වර්ගය බෙදා ගැනීම සහ උපදේශකයා ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම ඇතුළත් විය හැක.

උපදේශනය දිගටම ලබා ගන්නවාද යන්න තීරණය කිරීමට පෙර, රහස්‍යභාවය, ඔවුන් භාවිතා කරන ප්‍රවේශය, හමුවීම් සිදු වන ආකාරය සහ ඔබට බලාපොරොත්තු විය හැකි දේ ගැන ඔබට අසන්න පුළුවන්.

සහය වර්ගය සහ සේවා සපයන්නා අනුව, මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තනිව, කණ්ඩායමක් ලෙස, අන්තර්ජාලය හරහා හෝ දුරකථනයෙන් ලබා දිය හැක.

ඔබට ගැළපෙන සහ සුවපහසු බවක් දැනෙන ප්‍රවේශයක් සොයා ගැනීමට කාලය ගැනීම සම්පූර්ණයෙන්ම සුදුසුය.

ඔබට ගැළපෙන සේවා සපයන්නෙකු සොයා ගන්නේ කෙසේද

මානසික සෞඛ්‍ය සහය සෙවීම විශාල පළමු පියවරක් ලෙස දැනෙන්න පුළුවන්.

ඔබ මුලින්ම දකින සේවා සපයන්නාම තෝරා ගත යුතු නැත.

  1. සහය වර්ගය, පළාත, භාෂාව සහ ඔබ සම්බන්ධ වීමට කැමති ආකාරය අනුව ලැයිස්තුව පෙරහන් කරන්න.
  2. විකල්ප දෙකක් හෝ තුනක් තබා ගන්න. ඔබේ පළමු තේරීම ඔබට නොගැළපේ නම්, නැත්නම් එම සේවාව නොමැති නම්, ඔබට වෙනත් විකල්ප තිබේ.
  3. ඔබට ආරක්ෂිත සහ සුවපහසු බවක් දැනෙන ආකාරයෙන් සම්බන්ධ වී, උපදේශන හමුවීම් ආරම්භ කිරීමට පෙර ඔබේ ප්‍රශ්න අසන්න.
  4. ගාස්තු, ලැබෙන වේලාවන්, භාෂාව, රහස්‍යභාවය සහ හමුවීම් සිදු වන ආකාරය වැනි ප්‍රායෝගික කරුණු ගැන අසන්න.
  5. එම පුද්ගලයා හෝ සේවාව ඔබට ගැළපෙනවාද යන්න ගැන සිතන්න. ඔබට නොගැළපේ නම්, වෙනත් විකල්පයක් සොයා බැලීම සම්පූර්ණයෙන්ම සුදුසුය.

ආරම්භ කිරීමට පෙර ඔබට අසන්න පුළුවන් ප්‍රශ්න

ඔබ භාවිතා කරන්නේ කුමන ප්‍රවේශයක් හෝ ක්‍රමද?

උපදේශන ප්‍රවේශ බොහොමයක් තිබේ. සේවා සපයන්නෙකුට තමන් භාවිතා කරන ප්‍රවේශය සරල භාෂාවෙන් පැහැදිලි කළ හැකි විය යුතුය. එය ඔබට ගැළපෙනවාද යන්න තේරුම් ගැනීමට මෙය උදව් වේ.

මා බෙදා ගන්නා දේ රහසිගතව තබනවාද?

ඔවුන්ගේ සේවාවේ රහස්‍යභාවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, ඊට සීමාවන් තිබේද යන්න අසන්න.

උපදේශනය ආරම්භ කිරීමට පෙර මෙය දැන ගැනීමට ඔබට අයිතිය තිබේ.

උපදේශන හමුවීම් සිදු වන්නේ කුමන භාෂාවලින්ද?

ඔබට වඩාත් සුවපහසු භාෂාවෙන් කතා කිරීම ඉතා වැදගත් විය හැක.

එම භාෂාවෙන් සේවාව ලැබේදැයි අසන්න එක සම්පූර්ණයෙන්ම ස්වාභාවිකය.

උපදේශන හමුවීමකට කොපමණ වියදම් වේද? සහන ගාස්තුවක් තිබේද?

ගාස්තු සේවාවෙන් සේවාවට බොහෝ සෙයින් වෙනස් විය හැක. සමහර සේවා නොමිලේ හෝ අඩු ගාස්තුවකින් ලැබිය හැක.

සේවාව ආරම්භ කිරීමට පෙර ගාස්තු පැහැදිලිව කියන්නට සේවා සපයන්නෙකු සූදානම් විය යුතුය.

මට ඕනෑම වේලාවක උපදේශනය නවත්වන්න හෝ සේවා සපයන්නා වෙනස් කරන්න පුළුවන්ද?

ඔව්.

ඔබට නොගැළපෙන කෙනෙකු සමඟ උපදේශනය දිගටම ලබා ගැනීමට ඔබව කිසි විටෙකත් බල කළ යුතු නැත. හොඳ සේවා සපයන්නෙකු මෙය පැහැදිලිව කියයි.

ඔබ සූදානම් නම්

මානසික සෞඛ්‍ය සහ උපදේශන සේවා බලන්න

(ගිණුමක් අවශ්‍ය නැත. කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දිය යුතු නැත.)

මානසික සෞඛ්‍ය සහය සොයන්න