ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සොයා ගැනීම අපහසු විය හැකියි. විශේෂයෙන්ම, එම තොරතුරු තමන්ට හොඳින් තේරුම්ගත නොහැකි භාෂාවකින් තිබෙන විට මෙම අපහසුතාව තවත් වැඩි විය හැකියි. සහාය සේවා, පෞද්ගලික සීමා, කැමැත්ත සහ සුවය ලැබීම පිළිබඳ වැදගත් තොරතුරු තේරුම් ගැනීම අපහසු වන්නේ ඒවායේ නුහුරු වචන භාවිත වන විට හෝ පාඨකයන්ට තමන් විසින්ම තොරතුරු වෙනත් භාෂාවකට පරිවර්තනය කරගැනීමට සිදු වන විටයි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් සහ පරිසරයන් තුළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා භාවිත වන බැවින්, මෙම භාෂා තුනෙන්ම තොරතුරු ලබාදීම ඒවා වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීමේ වැදගත් පියවරකි. SafeHerSpace නිර්මාණය කර ඇත්තේ ද මේ අරමුණින්. එනම්, ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ට තමන්ට තේරුම්ගත හැකි භාෂාවකින් අදාළ තොරතුරු සහ සහාය ලබාගත හැකි සම්පත් සොයා ගැනීමට උපකාර කිරීමයි.
සහාය සොයා ගැනීමේදී භාෂාව වැදගත් වන්නේ ඇයි?
භාෂාව යනු තොරතුරු හුවමාරු කරගැනීමේ මාධ්‍යයක් පමණක් නොවේ. තමන්ට ඇති විකල්ප තේරුම් ගැනීමට, ප්‍රශ්න ඇසීමට සහ තමන්ගේ තත්ත්වය පිළිබඳ තීරණ ගැනීමට පුද්ගලයෙකුට කොතරම් පහසුවක් තිබේද යන්න කෙරෙහි ද භාෂාව බලපායි.
යමෙකු සංවේදී මාතෘකාවක් පිළිබඳව තොරතුරු සොයන විට, නුහුරු වචන හෝ සංකීර්ණ පැහැදිලි කිරීම් නිසා තවත් අවිනිශ්චිත බවක් ඇති විය හැකියි. යම් සේවාවකින් ලබාදෙන සහාය කුමක්ද, එය තමන්ගේ තත්ත්වයට අදාළද, එම සංවිධානය සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඔවුන්ට අපහසු විය හැකියි. තොරතුරු තමන් විසින්ම වෙනත් භාෂාවකට පරිවර්තනය කරගැනීමට සිදුවීමෙන්, දැනටමත් අපහසු වී ඇති සෙවීමේ ක්‍රියාවලිය තවත් වෙහෙසකර විය හැකියි.
පැහැදිලිව සහ පහසුවෙන් තේරුම්ගත හැකි භාෂාවකින් තොරතුරු ලබාදීමෙන් අනවශ්‍ය බාධා අවම කරගත හැකියි. එමඟින් පාඨකයන්ට සංවේදී මාතෘකා පිළිබඳව සොයා බැලීමට, ලබාගත හැකි සම්පත් ගැන දැනුවත් වීමට සහ වඩාත් විශ්වාසයෙන් යුතුව තමන්ට ගැළපෙන තීරණ ගැනීමට අවස්ථාව ලැබේ.
ඉංග්‍රීසි භාෂාව පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ වෘත්තීය, අධ්‍යාපනික සහ ආයතනික පරිසරයන් තුළ ඉංග්‍රීසි භාෂාව භාවිත වුවත්, සෑම කෙනෙකුටම එම භාෂාව එක හා සමාන පහසුවකින් භාවිත කළ නොහැකියි. යමෙකු වෙනත් භාෂාවකට වැඩි කැමැත්තක් දක්වන නිසාම ප්රචණ්ඩත්වය සහ සහාය සේවා පිළිබඳ වැදගත් තොරතුරු ලබාගැනීම අපහසු නොවිය යුතුය.
තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබාගත හැකි විට, සිංහල හෝ දෙමළ භාෂාවෙන් කියවීමට වඩාත් පහසුවක් දක්වන පුද්ගලයන්ට සේවා පිළිබඳ විස්තර, ඒවා ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් හෝ තමන්ට ඇති විකල්ප පිළිබඳ තොරතුරු තේරුම් ගැනීමේදී අමතර දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය හැකියි. එවැනි විටෙක තොරතුරු පැහැදිලි කරගැනීම සඳහා වෙනත් කෙනෙකුගේ සහාය ලබාගැනීමට ඔවුන්ට සිදුවිය හැකියි. එහෙත්, පෞද්ගලික හෝ සංවේදී කරුණු සම්බන්ධයෙන් එය තවත් අපහසුතා ඇති කළ හැකියි.
ඉංග්‍රීසි භාෂාව සමඟ සිංහල සහ දෙමළ භාෂාවලින් ද තොරතුරු ලබාදීමෙන්, වැඩි පිරිසකට මෙම සම්පත් භාවිත කිරීමට අවස්ථාව සැලසේ. එසේම, තමන්ට අවශ්‍ය තොරතුරු තේරුම් ගැනීමට ඇති හැකියාව තීරණය විය යුත්තේ තමන් භාවිත කරන භාෂාව මත නොවන බව ද එමඟින් පිළිගැනේ.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම තෝරාගෙන ඇත්තේ ඇයි?
SafeHerSpace සැලසුම් කර ඇත්තේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය සහ ඒ සඳහා ලබාගත හැකි සහාය සේවා පිළිබඳ තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබාගැනීමට හැකි වන පරිදියි.
ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයන් වෙත ළඟා වීමට මෙම භාෂා තුනම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. භාෂා තුනෙන්ම තොරතුරු ලබාදීමෙන්, සෑම කෙනෙකුම එකම භාෂා අනුවාදයක් භාවිත කරනු ඇතැයි අපේක්ෂා නොකර, තමන්ට පහසු භාෂාවකින් තොරතුරු කියවා බැලීමට පරිශීලකයන්ට හැකි වේ.
කැමැත්ත, අපයෝජනය, මානසික යහපැවැත්ම සහ සුවය ලැබීම වැනි සංවේදී මාතෘකා පිළිබඳ තොරතුරු ලබාදීමේදී භාෂා කිහිපයකින් තොරතුරු ලබාගත හැකි වීම විශේෂයෙන් වැදගත් වේ. අනවශ්‍ය භාෂාමය බාධාවලට මුහුණ නොදී, ඉදිරිපත් කර ඇති තොරතුරු තේරුම් ගැනීමට පාඨකයන්ට හැකි විය යුතුය.
අපගේ අරමුණ එක් භාෂාවක වචන තවත් භාෂාවකට පරිවර්තනය කිරීම පමණක් නොවේ. මුල් තොරතුරුවල අර්ථය ආරක්ෂා කරගනිමින්, ඒවා පැහැදිලිව සහ ගෞරවනීය ලෙස සන්නිවේදනය කිරීම ද අපගේ අරමුණයි.
නිවැරදි සහ සංවේදී පරිවර්තනයක් වැදගත් වන්නේ ඇයි?
සෑම තොරතුරක්ම එහි අර්ථය වෙනස් නොවී වචනයෙන් වචනය තවත් භාෂාවකට පරිවර්තනය කළ නොහැකියි. ලිංගික ප්රචණ්ඩත්වය, කැමැත්ත, පෞද්ගලික සීමා සහ මානසික සෞඛ්‍යය සම්බන්ධ වචන සහ යෙදුම් විශේෂයෙන් සංවේදී විය හැකියි. ඒවායේ අර්ථය බොහෝ විට භාවිත වන සන්දර්භය අනුව වෙනස් විය හැකි බැවිනි.
වචනවලින් බැලූ විට නිවැරදි වුවත්, තේරුම් ගැනීමට අපහසු පරිවර්තනයකින් මුල් පණිවිඩය නිසි ලෙස සන්නිවේදනය නොවිය හැකියි. ඒ වගේම, අතිශය වෛද්‍යමය හෝ තාක්ෂණික බවක් ඇති, විනිශ්චය කරන හෝ නුහුරු භාෂාවක් භාවිත කිරීමෙන් සංවේදී තොරතුරු සමඟ සම්බන්ධ වීම පාඨකයන්ට අපහසු විය හැකියි.
SafeHerSpace සඳහා, තේරුම් ගැනීමට පහසු බහුභාෂා තොරතුරු යනු මුල් අර්ථය ආරක්ෂා කරගනිමින්, පුද්ගලයන්ට දොස් නොපවරන, ඔවුන් ලැජ්ජාවට පත් නොකරන සහ මානසිකව පීඩාවට පත් නොකරන පැහැදිලි හා ගෞරවනීය භාෂාවක් භාවිත කිරීමයි. විවිධ භාෂාමය සහ සංස්කෘතික පසුබිම් තුළ තොරතුරු තේරුම් ගන්නා ආකාරය පිළිබඳව සැලකිලිමත් වීම ද එයට ඇතුළත් වේ.
තොරතුරු නිවැරදි වීම, ඒවා පහසුවෙන් ලබාගත හැකි වීම තරමටම වැදගත්ය. සහාය සේවා පිළිබඳ විස්තර, සම්බන්ධ කරගැනීමේ තොරතුරු සහ වැදගත් මඟපෙන්වීම් භාෂා තුනෙන්ම ඉදිරිපත් කරන විට ඒවායේ මුල් අර්ථය ආරක්ෂා විය යුතුය. හැකි සෑම විටම, අදාළ භාෂා පිළිබඳ දැනුම සහ විෂය කරුණු පිළිබඳ අවබෝධය ඇති පුද්ගලයන් විසින් පරිවර්තන සමාලෝචනය කිරීම ද වැදගත් වේ.
භාෂා තුනකින් තොරතුරු ලබාදීම නිවැරදි තීරණ ගැනීමට උපකාරී වන්නේ කෙසේද?
තොරතුරු පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වූ විට, තමන්ට ඇති විකල්ප සොයා බැලීමටත්, තමන්ගේ තත්ත්වයට වඩාත් සුදුසු දේ තීරණය කිරීමටත් පුද්ගලයන්ට පහසු වේ.
උදාහරණයක් ලෙස, උපදේශන සේවාවක් සොයන කෙනෙකුට එම සේවාව සම්බන්ධ කරගැනීමට පෙර එයින් ලබාදෙන සහාය කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය විය හැකියි. තවත් කෙනෙකු කැමැත්ත පිළිබඳව දැනුවත් වීමට හෝ යම් හැසිරීමක් හානිකරදැයි තේරුම් ගැනීමට උත්සාහ කරනවා විය හැකියි. එසේම, මිතුරෙකුට සහාය දීමට උත්සාහ කරන කෙනෙකුට විනිශ්චයකින් තොරව ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය ගැන තොරතුරු අවශ්‍ය විය හැකියි.
මෙම සම්පත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබාදීමෙන්, පුද්ගලයන්ට වෙනත් අයෙකු මත රඳා නොසිට තොරතුරු සොයා බැලීමට සහ ඒවා තේරුම් ගැනීමට වැඩි අවස්ථාවක් ලැබේ. ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිළිබඳව දැනුවත් වීමටත්, එවැනි අත්දැකීමකට මුහුණ දෙන කෙනෙකුට ගෞරවනීය ලෙස සහාය විය හැකි ආකාරය තේරුම් ගැනීමටත් පවුලේ සාමාජිකයන්ට, මිතුරන්ට සහ ප්‍රජාවේ අනෙකුත් පුද්ගලයන්ට එමඟින් උපකාරී වේ.
භාෂාමය ප්‍රවේශය පහසු කිරීමෙන් සහාය සොයා ගැනීමට ඇති සියලු බාධා ඉවත් නොවේ. ආර්ථික තත්ත්වය, ආරක්ෂාව පිළිබඳ ගැටලු, සේවා ලබාගත හැකි වීම සහ සමාජයේ පවතින අපකීර්තියට පත් කරන අදහස් තවදුරටත් පුද්ගලයෙකුට ඇති විකල්ප සීමා කළ හැකියි. එහෙත්, පහසුවෙන් තේරුම්ගත හැකි තොරතුරු තිබීමෙන් එම විකල්ප සොයා බැලීම පහසු කිරීමට හැකි වේ.
SafeHerSpace හරහා තොරතුරු වඩාත් පහසුවෙන් ලබාගත හැකි කිරීම
SafeHerSpace යනු ශ්‍රී ලංකාවේ ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ට තොරතුරු, සහාය සේවා සහ සුවය ලැබීමට උපකාරී වන සම්පත් සොයාගැනීමට උපකාර කරන බහුභාෂා සම්පත් වේදිකාවකි.
අදාළ සම්පත් එකම ස්ථානයකින් ලබාගත හැකි ලෙස සංවිධානය කිරීමෙන් සහ වේදිකාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ලබාදීමෙන්, අවශ්‍ය තොරතුරු සොයා ගැනීමේ සහ තේරුම් ගැනීමේ අපහසුතා අවම කිරීම අපගේ අරමුණයි. අපගේ සම්පත් සිතියම සහ සේවා නාමාවලිය සැලසුම් කර ඇත්තේ විවිධ වෙබ් අඩවි සහ වේදිකා අතරින් තනිවම තොරතුරු සොයා යාමට සිදු නොවී, අදාළ සංවිධාන සහ ලබාගත හැකි සහාය පිළිබඳව සොයා බැලීමට පුද්ගලයන්ට උපකාර වන පරිදියි.
විනිශ්චයකට ලක් වේ යැයි හෝ වහාම තීරණයක් ගැනීමට බල කරනු ඇතැයි හැඟීමකින් තොරව තොරතුරු ලබාගැනීමට සෑම කෙනෙකුටම හැකි විය යුතු බව අපි විශ්වාස කරමු. තමන් වෙනුවෙන් තොරතුරු සොයන කෙනෙකු වුවත්, වෙනත් පුද්ගලයෙකුට සහාය වීමට උත්සාහ කරන කෙනෙකු වුවත්, නැතිනම් යම් මාතෘකාවක් පිළිබඳව දැනුවත් වීමට කැමති කෙනෙකු වුවත්, අදාළ සම්පත් සොයා බැලීම ආරම්භ කිරීමට SafeHerSpace භාවිත කළ හැකියි.
තමන්ට ඇති විකල්ප තේරුම් ගැනීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත
විශ්වාසදායක තොරතුරු ලබාගැනීමට ඇති අවස්ථාව, යම් භාෂාවක් භාවිත කිරීමට කෙනෙකුට ඇති පහසුව මත තීරණය නොවිය යුතුය. තමන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට, ලබාගත හැකි සම්පත් සොයා බැලීමට සහ නිවැරදි තීරණ ගැනීමට සෑම කෙනෙකුටම අවස්ථාව තිබිය යුතුය.
ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයන්ට සහාය සම්පත් වඩාත් පහසුවෙන් ලබාගත හැකි, ගෞරවනීය සහ සියලු දෙනා ඇතුළත් කරගන්නා පරිසරයක් ගොඩනැගීමේ අපගේ කැපවීමේ කොටසක් ලෙස SafeHerSpace සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් තොරතුරු ලබාදෙයි.
ඔබ කතා කරන භාෂාව නිසා ඔබට ඇති විකල්ප තේරුම් ගැනීම කිසිවිටෙකත් තවත් අපහසු නොවිය යුතුය.
ඔබට වඩාත් පහසු භාෂාවෙන් තොරතුරු, සහාය සේවා සහ සුවය ලැබීමට උපකාරී වන සම්පත් සොයා බැලීමට SafeHerSpace වෙත පිවිසෙන්න.