සම්පත් වෙත ආපසු

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (Sexual and Gender-Based Violence – SGBV) යනු ලිංගික හිංසනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අසමානතාව, බලහත්කාරය, තර්ජන හෝ පුද්ගලයෙකුගේ නිදහස සීමා කිරීම ඇතුළත් හානිකර ක්‍රියාවන්ය. ශාරීරික හිංසනය, ලිංගික හිරිහැර, මානසික පීඩනය ඇති කරන හැසිරීම්, ආර්ථික පාලනය සහ තාක්ෂණය භාවිතයෙන් සිදු කරන හිංසනය ඇතුළු විවිධ ආකාරවලින් මෙය සිදුවිය හැකියි. නිවසේදී, සබඳතා තුළ, සේවා ස්ථානවල, අධ්‍යාපන ආයතනවල, පොදු ස්ථානවල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද මෙවැනි ප්‍රචණ්ඩත්වය සිදුවිය හැකියි.

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම, හානිකර හැසිරීම් හඳුනා ගැනීමටත්, ඒ පිළිබඳ පවතින වැරදි අදහස් අභියෝගයට ලක් කිරීමටත්, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයට සුදුසු සහාය ලබා ගැනීමට මඟ පෙන්වීමටත් වැදගත් පියවරක්. ශ්‍රී ලංකාවේදී, සමාජ අපකීර්තියට ඇති බිය, අන් අය තමන්ව විනිශ්චය කරනු ඇතැයි යන බිය සහ ලබාගත හැකි සහාය සේවා පිළිබඳ සීමිත දැනුවත්භාවය නිසා උපකාර ඉල්ලා සිටීම අපහසු විය හැකියි. මෙම ලිපියෙන් SGBV හි විවිධ ආකාර, එය සිදුවිය හැකි අවස්ථා, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයට ඇති විය හැකි බලපෑම් සහ ශ්‍රී ලංකාවේදී විශ්වාසදායක තොරතුරු හා සහාය ලබාගත හැකි ස්ථාන පිළිබඳව සාකච්ඡා කරනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (Gender-Based Violence – GBV) යනු පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාම ඔහුට හෝ ඇයට එරෙහිව සිදු කරන, නැතහොත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පවතින අසමානතාව හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට අසමානුපාතික ලෙස බලපාන හානිකර ක්‍රියාවන්ය. ශාරීරික, ලිංගික, මානසික සහ ආර්ථික හිංසනය මෙන්ම තර්ජන, හිරිහැර සහ පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සාහ කරන හැසිරීම් ද මෙයට ඇතුළත් වෙනවා.

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය (UN Women) පෙන්වා දෙන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම අසමාන බල සම්බන්ධතා තුළ මුල් බැසගත් වෙනස්කම් කිරීමේ ආකාරයක් ද වන බවයි. GBV හි බොහෝ ආකාරවලින් කාන්තාවන් සහ ගැහැනු දරුවන් අසමානුපාතික ලෙස පීඩාවට පත්වුවත්, පිරිමින්ට, පිරිමි දරුවන්ට සහ විවිධ ස්ත්‍රී පුරුෂ අනන්‍යතා සහිත පුද්ගලයන්ට ද මෙවැනි ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවිය හැකියි.

ශ්‍රී ලංකාවේදී, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහාය ඇතිව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දී පවත්වන ලද කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණය, සමීප සහකරුවන්ගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීමේ සහ ඊට මුහුණ දෙන අයට සහාය ලබා ගැනීමට ඇති අවස්ථා වැඩිදියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා.

ලිංගික ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

ලිංගික ප්‍රචණ්ඩත්වය යනු නිදහස් කැමැත්තෙන් ලබා දෙන කැමැත්තකින් තොරව සිදු කරන ලිංගික ක්‍රියා හෝ හැසිරීම්වලටයි. ස්ත්‍රී දූෂණය, ස්ත්‍රී දූෂණයට තැත් කිරීම, අනවශ්‍ය ලිංගික ස්පර්ශ කිරීම් සහ බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවලට යොමු කිරීම මෙයට ඇතුළත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන පරිදි, මෙවැනි ප්‍රචණ්ඩත්වයක් බලය යෙදීමෙන්, තර්ජන කිරීමෙන් හෝ පීඩනයක් එල්ල කිරීමෙන් සිදුවිය හැකියි. එයට සම්බන්ධ පුද්ගලයන් අතර පවතින සබඳතාව කුමක් වුවත් මෙය සිදුවිය හැකියි.

සෑම අවස්ථාවකදීම කැමැත්ත අත්‍යවශ්‍යයි. විවාහ වී සිටීම හෝ මීට පෙර ලිංගික ක්‍රියාවකට කැමැත්ත ලබා දී තිබීම, ඉදිරියේදී සිදුවන සෑම ක්‍රියාවකටම කැමැත්ත ලබා දී ඇති බව අදහස් කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ 2019 කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණයෙන් හෙළි වූයේ සහකරුවෙකුගෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් නිල වශයෙන් උපකාර ඉල්ලා නොතිබූ බවයි. මෙයින් පෙනී යන්නේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයට විනිශ්චයකින් හෝ දෝෂාරෝපණයකින් තොරව, පහසුවෙන් ළඟා විය හැකි සහාය සේවා තිබීමේ වැදගත්කමයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ විවිධ ආකාර මොනවාද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය විවිධ ආකාරවලින් සිදුවිය හැකියි. ඇතැම් විට, එකම සබඳතාවක් හෝ තත්ත්වයක් තුළ මෙහි ආකාර කිහිපයක් එකවර අත්විඳීමට සිදුවිය හැකියි.

ශාරීරික හිංසනය

ශාරීරික හිංසනය යනු පුද්ගලයෙකුට හානි කිරීමේ හෝ හානි කරන බවට තර්ජනය කිරීමේ අරමුණින් ශාරීරික බලය යෙදීමයි. පහර දීම, කම්මුල් පහර දීම, පයින් ගැසීම, ගෙල සිර කිරීම හෝ පුද්ගලයෙකුගේ චලනයන් බලහත්කාරයෙන් සීමා කිරීම මෙයට උදාහරණයි. තුවාල පිටතින් නොපෙනුණත් ශාරීරික හිංසනය සිදුවිය හැකියි.

ලිංගික ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර

අනවශ්‍ය ලිංගික ස්පර්ශ කිරීම්, ස්ත්‍රී දූෂණය, බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවලට යොමු කිරීම සහ ලිංගික හිරිහැර මෙයට ඇතුළත් වෙනවා. නැවත නැවත අනවශ්‍ය ලිංගික යෝජනා කිරීම, නුසුදුසු ලිංගික අදහස් ප්‍රකාශ කිරීම සහ රැකියාව හෝ අධ්‍යාපන අවස්ථා අහිමි කරන බවට තර්ජනය කරමින් ලිංගික ක්‍රියාවකට බල කිරීම මෙයට උදාහරණයි.

මානසික සහ චිත්තවේගීය හිංසනය

මානසික සහ චිත්තවේගීය හිංසනය යනු පුද්ගලයෙකු තුළ බිය, අවමානය හෝ දැඩි මානසික පීඩනය ඇති කරන හැසිරීම්ය. නිරන්තරයෙන් අපහාස කිරීම, තර්ජනය කිරීම, බිය ගැන්වීම, මානසිකව හසුරුවීම සහ මිතුරන්ගෙන් හෝ පවුලේ සාමාජිකයන්ගෙන් ඈත් කිරීමට උත්සාහ කිරීම මෙයට ඇතුළත් වෙනවා. කාලයත් සමඟ මෙවැනි හැසිරීම් පුද්ගලයෙකුගේ ආත්ම විශ්වාසයට සහ ආරක්ෂිත බව පිළිබඳ හැඟීමට හානි කළ හැකියි.

ආර්ථික හිංසනය සහ බලහත්කාරී පාලනය

ආර්ථික හිංසනය යනු පුද්ගලයෙකුගේ තීරණ පාලනය කිරීම සඳහා ඔහුගේ හෝ ඇයගේ මුදල්, රැකියාව, අධ්‍යාපනය හෝ අත්‍යවශ්‍ය සම්පත් වෙත ඇති ප්‍රවේශය සීමා කිරීමයි.

බලහත්කාරී පාලනය (Coercive Control) යනු පුද්ගලයෙකුගේ ජීවිතය, තීරණ සහ නිදහස ආධිපත්‍යයට නතු කිරීම හෝ සීමා කිරීම අරමුණු කරගත්, නැවත නැවත සිදුවන හැසිරීම් රටාවකි. සහකරුවෙකුගේ වැටුප බලහත්කාරයෙන් ලබා ගැනීම, රැකියාවක නිරත වීම වැළැක්වීම හෝ ඔහුගේ හෝ ඇයගේ ගමන් බිමන් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම මෙයට උදාහරණයි.

තාක්ෂණය භාවිතයෙන් සිදු කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය

ඩිජිටල් වේදිකා සහ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ද පුද්ගලයන්ට හිරිහැර කිරීමට, තර්ජනය කිරීමට හෝ ඔවුන්ව පාලනය කිරීමට හැකියි. අන්තර්ජාලය ඔස්සේ කෙනෙකු පසුපස හඹා යාම, කැමැත්තකින් තොරව පෞද්ගලික හෝ සමීප ඡායාරූප බෙදා හැරීම, පෞද්ගලික තොරතුරු හෙළි කරන බවට තර්ජනය කිරීම, වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම සහ අවසරයකින් තොරව කෙනෙකුගේ ස්ථානය නිරීක්ෂණය කිරීම මෙයට උදාහරණයි.

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට උදාහරණ මොනවාද?

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සෑම විටම පහසුවෙන් හඳුනාගත නොහැකියි. උදාහරණ කිහිපයක් මෙසේයි.

  • සහකරුවෙකු තම සහකාරියගේ හෝ සහකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමට බල කිරීම සහ ඇයට හෝ ඔහුට හමුවිය හැක්කේ කවුරුන්ද යන්න තීරණය කිරීම.
  • එක් අයෙකු ලිංගික ක්‍රියාවකට අකමැත්ත ප්‍රකාශ කළ පසුවත්, සහකරුවෙකු එම ක්‍රියාවට බල කිරීම.
  • අධ්‍යාපනික හෝ වෘත්තීය අවස්ථා ලබා දීම සමඟ සම්බන්ධ කරමින් ගුරුවරයෙකු හෝ සේවායෝජකයෙකු අනවශ්‍ය ලිංගික යෝජනා කිරීම.
  • පුද්ගලයෙකු නැවත නැවත පසුපස හඹා යාම හෝ පොදු ස්ථානවලදී අනවශ්‍ය ලිංගික ප්‍රකාශ කිරීම.
  • සහකරුවෙකුගේ වැටුප ලබාගෙන, එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් භාවිත කිරීමට ඉඩ නොදීම.
  • සබඳතාවක් අවසන් වූ පසු පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම.

මෙවැනි හැසිරීම් පුද්ගලික සීමාවන් උල්ලංඝනය කරමින් පුද්ගලයෙකුගේ නිදහස සීමා කළ හැකියි. තමන් අත්විඳි දේට නිශ්චිත නමක් දීමට හෝ එය කිසියම් ප්‍රචණ්ඩත්වයක් ලෙස හඳුනා ගැනීමට පෙර පවා, තොරතුරු හෝ සහාය ලබා ගැනීමට පුද්ගලයෙකුට අයිතිය තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ තවදුරටත් වැදගත් මානව හිමිකම් සහ මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස පවතිනවා. ජාතික මට්ටමේ පර්යේෂණ මඟින් ප්‍රචණ්ඩත්වය අත්විඳින පුද්ගලයන්ගේ සංඛ්‍යාව මෙන්ම ඔවුන්ට සහාය ලබා ගැනීමට බාධා ඇති කරන කරුණු ද පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහාය ඇතිව, 2019 දී කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණය පවත්වනු ලැබුවා. එම සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 15 හෝ ඊට වැඩි, සහකරුවෙකු සමඟ සබඳතාවක් පවත්වා ඇති කාන්තාවන්ගෙන් 20.4%ක් තම ජීවිත කාලය තුළ සමීප සහකරුවෙකුගෙන් ශාරීරික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී තිබෙනවා.

ලැජ්ජාව, තමන්ටම දොස් පවරනු ඇතැයි යන බිය සහ ප්‍රචණ්ඩත්වය ඉවසා සිටිය යුතු බවට හෝ එය වාර්තා කිරීමට තරම් බරපතළ නොවන බවට පවතින අදහස්, නිල සහාය ලබා ගැනීමට බාධා ඇති කරන බව ද එම සමීක්ෂණයෙන් පෙන්වා දෙනවා.

මෙම සංඛ්‍යාලේඛන 2019 දී අධ්‍යයනය කළ අත්දැකීම් පිළිබිඹු කරන අතර, වර්තමාන තත්ත්වය සෘජුවම නිරූපණය කරන්නේ නැහැ. එහෙත්, පහසුවෙන් ලබාගත හැකි තොරතුරු, සුදුසු සහාය සේවා සහ සමාජ අපකීර්තියට හේතු වන අදහස් වෙනස් කිරීමේ වැදගත්කම ඒවා මඟින් පැහැදිලි වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය හැක්කේ කාටද?

වයස, ආදායම, අධ්‍යාපනය හෝ පසුබිම කුමක් වුවත් ඕනෑම පුද්ගලයෙකුට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවිය හැකියි. කෙසේ වෙතත්, ප්‍රචණ්ඩත්වයේ බොහෝ ආකාරවලින් කාන්තාවන් සහ ගැහැනු දරුවන් අසමානුපාතික ලෙස පීඩාවට පත්වෙනවා. පිරිමින්ට සහ පිරිමි දරුවන්ට ද ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය සහ හිරිහැර අත්විඳීමට සිදුවිය හැකියි. ආබාධ සහිත පුද්ගලයන්ට සහ වෙනත් ආකාරයේ වෙනස්කම් කිරීම්වලට මුහුණ දෙන අයට සහාය ලබා ගැනීමේදී අමතර බාධාවලට ද මුහුණ දීමට සිදුවිය හැකියි.

ප්‍රචණ්ඩත්වය සිදු කරන පුද්ගලයා සහකරුවෙකු, පවුලේ සාමාජිකයෙකු, සගයෙකු, හඳුනන අයෙකු හෝ නාඳුනන පුද්ගලයෙකු විය හැකියි. ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් පුද්ගලයන් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන ආකාරය එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඇතැමුන් ඉක්මනින් ඒ ගැන කතා කළ හැකි අතර, තවත් අයට සහාය ඉල්ලා සිටීමට පෙර කාලය අවශ්‍ය විය හැකියි. ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය කුමක් වුවත්, එයින් ඔවුන් අත්විඳි දේවල සත්‍යතාව හෝ වැදගත්කම අඩු වන්නේ නැහැ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයට බලපාන්නේ කෙසේද?

ප්‍රචණ්ඩත්වයේ බලපෑම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර, කාලයත් සමඟ ඒවා වෙනස් විය හැකියි. සෑම පුද්ගලයෙකුම එකම ආකාරයේ බලපෑම් අත්විඳින්නේ නැහැ.

  • ශාරීරික සෞඛ්‍යය: තුවාල, ශාරීරික වේදනාව, නින්දේ ගැටලු සහ ලිංගික හෝ ප්‍රජනක සෞඛ්‍යය සම්බන්ධ ගැටලු ඇති විය හැකියි.
  • මානසික සහ චිත්තවේගීය යහපැවැත්ම: ඇතැම් අයට කාංසාව, දුක, බිය, ලැජ්ජාව හෝ අන් අය කෙරෙහි විශ්වාසය තැබීමේ අපහසුතා ඇති විය හැකියි.
  • සමාජ සබඳතා: ප්‍රචණ්ඩත්වය නිසා අන් අයගෙන් ඈත් වීමට, සබඳතා පවත්වා ගැනීමේ අපහසුතාවලට හෝ සමාජ විනිශ්චයට ඇති බියට මුහුණ දීමට සිදුවිය හැකියි.
  • අධ්‍යාපනය සහ රැකියාව: ප්‍රචණ්ඩත්වය නිසා අධ්‍යාපන කටයුතු අඩාල වීමට, රැකියා කාර්යසාධනයට බලපෑම් ඇති වීමට හෝ වෘත්තීය අවස්ථා සීමා වීමට හැකියි.
  • මූල්‍ය ස්වාධීනත්වය: ආර්ථික හිංසනය සහ සහාය ලබා ගැනීමේදී දැරීමට සිදුවන වියදම් නිසා නිවාස, සෞඛ්‍ය සේවා හෝ වෙනත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම අපහසු විය හැකියි.

සුවපත් වීමේ ගමන සෑම පුද්ගලයෙකුටම වෙනස්. වෛද්‍ය ප්‍රතිකාර, උපදේශන සේවා, නීතිමය තොරතුරු සහ ප්‍රායෝගික සහාය මඟින් තමන්ට ගැළපෙන විකල්ප සොයා බැලීමටත්, තමන්ට පහසු වේගයකින් ඉදිරියට යාමටත් සහාය ලැබිය හැකියි.

ශ්‍රී ලංකාවේදී සහාය ලබාගත හැක්කේ කොතැනින්ද?

ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයට තමන්ගේ තත්ත්වය සහ කැමැත්ත අනුව වෛද්‍ය, මානසික හා සමාජීය, නීතිමය සහ ප්‍රජා මට්ටමේ සහාය සේවා සොයා ගත හැකියි.

  • වෛද්‍ය සහාය: රෝහල් සහ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයන්ට තුවාල පරීක්ෂා කිරීමට සහ අදාළ සෞඛ්‍ය ගැටලු පිළිබඳ උපදෙස් ලබා දීමට හැකියි.
  • මානසික හා සමාජීය සහාය: සුදුසුකම් ලත් උපදේශකවරුන්ට සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ට මානසික හා චිත්තවේගීය අපහසුතා සමඟ කටයුතු කිරීමට සහාය විය හැකියි.
  • නීතිමය සහාය: සුදුසුකම් ලත් නීති වෘත්තිකයන්ට සහ සහාය සංවිධානවලට අදාළ අයිතිවාසිකම් සහ ගත හැකි නීතිමය පියවර පිළිබඳව පැහැදිලි කළ හැකියි.
  • උපකාරක දුරකථන සේවා: ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් කාන්තා උපකාරක දුරකථන සේවාව සඳහා 1938 සහ ළමා උපකාරක දුරකථන සේවාව සඳහා 1929 යන අංක සඳහන් කර තිබෙනවා. සේවා පිළිබඳ යාවත්කාලීන තොරතුරු සඳහා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

SafeHerSpace ඔබට සහාය විය හැක්කේ කෙසේද?

SafeHerSpace යනු ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් පුද්ගලයන්ට විශ්වාසදායක තොරතුරු සහ සහාය සේවා වෙත පහසුවෙන් ළඟා වීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කළ බහුභාෂා තොරතුරු වේදිකාවක්. සහාය සංවිධාන, මානසික සෞඛ්‍යය, සුවපත් වීම සහ ලබාගත හැකි වෙනත් සම්පත් පිළිබඳ තොරතුරු එකම තැනකට ගෙන එමින්, තමන්ට ගැළපෙන විකල්ප සොයා බැලීමට අපි ඔබට අවකාශය සලසනවා.

සහාය සොයා ගැනීම නිසා ඔබට දැනෙන බර සහ අවිනිශ්චිත බව තරමක් හෝ අඩු කිරීම SafeHerSpace හි අපේක්ෂාවයි. ඔබ වෙනුවෙන් සහාය සොයනවා විය හැකියි. ඔබ ආදරය කරන හෝ සැලකිලිමත් වන කෙනෙකුට සහාය වීමට උත්සාහ කරනවා විය හැකියි. එසේත් නැතිනම්, ඔබට ඇති විකල්ප පිළිබඳව දැනුවත් වීමට පමණක් කැමති විය හැකියි. ඒ කුමක් වුවත්, ඔබට අදාළ තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සොයා ගැනීමට අපේ වේදිකාව ඔබට උපකාරී වේවි.

ඔබට අවශ්‍ය සහාය සොයා ගැනීමට, සුවපත් වීමේ ගමන පිළිබඳව දැනුවත් වීමට සහ ඔබේ මීළඟ පියවර තීරණය කිරීමට උපකාරී වන තොරතුරු ලබා ගැනීමට SafeHerSpace වෙත පිවිසෙන්න.